--------------------------------------------- Advertisements ---------------------------------------------
Breaking News
Loading...
Thursday, September 1, 2016

Info Post

ලේලිගේ දස වදේ ඉවසන්න බැරිම තැන නිවසින් පිටවී කනත්තක පදිංචිවූ නැන්දම්මා

ලේලිගෙ දස වදේ ඉවසන්න බැරිම තැන
නිවසින් පිටවී කනත්තක පදිංචිවූ
නැන්දම්මා


දරුවන් නිසා මහා මගට වැටුණු අම්මාවරුන් බොහෝ වෙති. මව්වරුන්ගේ ගුණ නොහඳුනන දූ පුතුන් ලේලියන් බෑණාවරුන් නිසා අගතියට පත්වන ඔවුන් ගැන සත්‍ය තත්වය වාර්තාවන්නේද කලාතුරකිනි.
පසුගියදා හුංගම තුඩුව පාළු සුසාන භූමියක් අසල වූ ප‍්‍රජාශාලාවක සිටියදී මුණ ගැසුණු අම්මා කෙනෙකු ගැන 
පහතින් කියැවෙන්නේ ඒ ආකාරයට ලේලියක නිසා අසරණවූ මවකගේ තවත් එක් කතාවකි.
ඇය මල්ලිකා විජේසිංහ නම් 71 හැවිරිදි කාන්තාවක් වූවාය.දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය තම බාලම පුතුගේ බිරිඳගෙන් ඇයට වන වදහිංසා ඉවසාගැනීමට නොහැකිව නිවසින් පිටමංව සුසාන භූමියක පදිංචියට පැමිණ තිබේ.
පිරිමි දරුවන් සිව්දෙනෙකුම මෙලොවට බිහිකර උස්මහත් කල ඇය අද තම කිසිම දරුවෙකුගේ පිළිසරණක් නොමැතිව හුංගම තුඩුව මාර්ගයේ පාළු සොහොන් බිමක් අසල වූ ප‍්‍රජාශාලාවක හිඳ  අවට ප‍්‍රදේශවාසීන්ගේ උදව් උපකාරයෙන් තම දිවියේ අවසන් යුගය ගෙවන්නීය.
තම  දරුවන්ගේ මුණුපුරන් මිණිපිරියන්ගේ සුරතල් බලමින් තම දිවියේ අවසන් යුගය ගත කිරීමට කැමැත්තක් දක්වන ඇයට අද ඉතිරිව ඇත්තේ තමන්ගේ දරුවන් විසින්ම ඇයට උරුම කර දුන් දුක් කඳුළු පමණි.ඇයගේ දුක් මුසු ජීවිත කතාව පිළිබඳව විමසීමේදී ඇය දෑසේ කදුළු පුරෝගනිමින් අප සමග මෙසේ පැවසුවාය .
‘මගේ මහත්තයෝ මම මේ තුඩුව ප‍්‍රදේශයෙමයි ජීවත් උනේ. මට පිරිමි දරුවන්ම හතර දෙනෙක් හිටියා.මගේ මහත්තයා මීට අවුරුදු ගානකට පෙර මිය ගියා.අපිට ඒ තරම් මිල මුදල් නොතිබුනත් අපි හැමෝම ගොඩක් සතුටින් හිටියා. මහත්තයා නැතිව මම කොහොමහරි මගේ දරුවන් හදා වඩා ගත්තා. දරුවනුත් මට ගොඩාක් ආදරෙන් හිටියේ. ඔහොම ඉද්දි මට ගොඩාක් ආදරය කරපු මගේ ගැන නිතරම හොයලා බලපු මගේ දෙවැනි පුතා හදිසියේම මිය ගියා. මට ඉතුරු උනේ දරුවන් තුන්දෙනයි. පස්සේ මේ අය විවාහ වෙලා ලොකු පුතා ඉන්නේ මාවනැල්ලේ එයා හොද ව්‍යාපාරයක් කරනවා. දෙවැනි පුතා මැරුණා. තුන්වෙනි පුතා ගන්දර ප‍්‍රදේශයේ ධීවර රැකියාව කරන්නේ බෝට්ටු හිමියෙක්. දැන් එයා ලෙඩවෙලා. මගේ හතරවෙනි පුතා මෙහෙ තුඩුව ගෙදර නෝනත් එක්ක ඉන්නේ. එයත් මේ හුංගම ප‍්‍රදේශයේම රුපියල් 35000ක් විතර ගන්න රැකියාවක් කරනවා.
මම හිටියේ ඒ පුතාගේ ගෙදර මගේ නමට තමයි ඒ ඉඩකඩම් තියෙන්නේ .ඒ පුතාගේ නෝනා මට ගොඩක් වද දුන්නා. මගේ ගෙදර මම හිටපු තැනට මම නැතිවෙලාවේ ගිනි තිව්වා. ගෙදර ඔප්පුව බලෙන්ම ගත්තා. මම පොලීසි ගියාම පොලීසියෙන් කිව්වා මේවා පුතාලට දීලා පාඩුවේ ඉන්න කියලා. මට මේ දේපළ  ඕනේ නෑ මහත්තයෝ මැරිලා යනකම් වැටිලා ඉන්න තැනකුයි  ඕන. එහෙම කියලා මම ආපහු ගෙදර ආවා. පුතාගේ දරුවොනම මට ගොඩක් ආදරෙයි. ලෙලි මට බැන්නා ගැහුවා.ඒ හැම මොහොතකම මං අඩ අඩ ඉන්නකොට දරුවෝ මගේ ගාවට ඇවිත් කියනවා ආච්චි අඩන්න එපා දන්නවනේ අපේ අම්මගේ හැටි. හරියට යකින්නක් වගේනේ. අපිටත් ගහනවා බනිනවනෙ ඒ නිසා අඩන්න එපා කියලා මගේ ඇස්වල කදුළු පිහිදානවා.මේ විදියට මගේ බාලම ලෙලි මට ගොඩක් වද හිංසා දුන්න යකඩ කූරු රත්කරල මගේ ඇඟ පිච්චුවා.මම නිදාගෙන ඉන්නකොට වතුර බාල්දියෙන් ගහනවා,බැරිම තැන තමයි මහත්තයෝ මම මෙතනට ආවේ.
මේ අවට ඉන්න මිනිස්සු හරි හොදයි.මට කන්න බොන්න බෙහෙත් හේත් ගෙනත් දෙන්නේ මේ අය.මම මාසෙකට වැඩිය වෙනවා මෙතනට ඇවිත්.මට හතිය රෝගය තියෙන නිසා මේ අයට මගෙන් හරිම කරදරයි.මාව නිතරම වගේ ලෙඩ වෙනකොට මේ අය තමයි මම ගැන බලන්නේ.
ප‍්‍රදේශවාසීන් ඇය ගැන මෙසේ කියා ඇත.
‘මේ අම්මා මෙතනට ඇවිත් මාසයක් විතර වෙනවා.මීට අවස්ථා කිහිපයකදීම ලේලි ගහනවා බනිනවා කියලා මෙතනට ඇවිත් හිටියා අපි ග‍්‍රාමසේවක මහත්තයට කියලා මේ අම්මව නැවත ගෙදර යැව්වා.කොයිතරම් කරුණු පැහැදිලි කරලා දීලා නතර කරලා ආවත් ලේලි මේ අම්මට ඉන්න දීලා තිබුනේ දවස් දෙකක් විතරයි.උණු වතුර ගහලා ගෙදරින් එළවලා තෙත රෙදි පිටින් අපේ ගෙදර ආවා.හතියත් හොදටම වැඩිවෙලා. අපිට පුළුවන් විදියට මේ අවට හැමෝම මේ අම්ම ගැන හොයලා බලනවා එත් අපිටත් හැමදාම මේ දේවල් කරන්න බැරිවෙයි’

සටහන - අජිත් පුෂ්ප කුමාර 


0 comments:

Post a Comment